සංගීතය යනු විශ්ව භාෂාවකි. එහි කිසිදු විවාදයක් නැත. නමුත් එය අසන්නාගේ ආත්මය පසාරු කරමින් යා හැකි තරම් තියුණු භාෂාවක් ලෙස හැසිරවිය හැක්කේ අතලොස්සකට පමණි.

සංගීතය යනු විශ්ව භාෂාවකි. එහි කිසිදු විවාදයක් නැත. නමුත් එය අසන්නාගේ ආත්මය පසාරු කරමින් යා හැකි තරම් තියුණු භාෂාවක් ලෙස හැසිරවිය හැක්කේ අතලොස්සකට පමණි.

ලොරීනා ඉසබෙල් අයිරින් මැකෙනිට්. නැතහොත් ලොරීනා මැකෙනිට්,ඇයගේ නම ඔබට එතරම් හුරු පුරුදු නැති විය හැකිය.නමුත් සංගීතයේදී ඇය තබා ඇති වාර්තා සියල්ල පසෙකින් තබා,ඇය පිළිබඳ ක්ෂනික හැඳින්වීමක් කළහොත් ඇය ඔබේ සවන් වලට නොව ආත්මයට කතා කරන්නියකි. ලොරීනාගේ ගායනය අසා ඇති ඕනෑම අයකු අවිවාදයෙන් එකඟ වන කාරණාව නම්,ඇගේ කටහඬ පෞරාණික හා ආකර්ශනීය දේවදූතයකුගේ කටහඬකට ආසන්න බවයි.

???? කුඩා අවධිය

1957 වර්ෂයේ පෙබරවාරි මස 17 වන දින කැනඩාවේදී උපත ලැබූ ලොරීනා මැකෙනිට් අයර්ලන්ත සහ ස්කොට්ලන්ත දෙමාපියන්ට දාව උපන්නියකි.කුඩාකල සිටම සංගීතයට ඇලුම් කළ ඇය කෙල්ටික් සංගීතය කෙරෙහි වැඩි ඇල්මක් දැක්වූවා ය.1997 ” The Book Of Secret ” යන නමින් සිය ප්‍රථම ගීත ඇල්බමය එළිදක්වන ඇයගේ විශේෂත්වය වන්නේ,ඇය එළිදැක් වූ ඇල්බමයන් හි බොහෝ ගීත වල පදරචනය,ගායනය,තනු නිර්මාණයන් සහ සංගීත ඛණ්ඩ ඇයගේ ස්වයං නිර්මාණ වීමයි.

සිංහල බසට පෙරළීමේ දී රසයට හානියක් සිදුවේ යයි හැඟෙන නිසා,ඇයගේ එක් ගීතයක කොටසක් මෙසේ තබමි.

This glancing life is like a morning star

A setting sun, or rolling waves at sea

A gentle breeze or lightning in a storm

A dancing dream of all eternity

The sand was shimmering in the morning light

And dancing off the dunes so far away

The night held music so sweet, so long

And there we lay until the break of day

We woke that morning at the onward call

Our camels bridled up, our howdahs full

The sun was rising in the eastern sky

Just as we set out to the desert’s cry

Calling, yearning, pulling, home to you…

???? ඇතුළාන්තයේ සංගීතය

ලොරීනාගෙ සංගීතය අසන මුල්ම මොහොතේ වුවද,අපගේ ඇතුළාන්තයේ තිබෙන, අප නොහඳුනන යමක් කම්පනය වන සෙයක් අපට දැනෙයි.ලොරීනාගේ සංගීතය ඇත්තේ එතරම් ම උස් වූ මුදුනකය.ඇයගේ හඬ එතරම් ම ගුප්ත සහ ගඹුරු,එතරම් ම තියුණු සහ සුපිරිසිදු,සැබෑ හඬකි.

මිනිසුන් ලෙස අප උපත ලැබීමට පෙර සිටි ආකාරයත්,මරණයෙන් පසුව සිදුවන කිසිවකදු නොදැන, උපත – මරණය අතරමැදි කාලය,භෞතික ලෝකය සමඟ ගැටෙමින් ඉතා කුඩා මානසික පරාසයක ජීවිතය ගෙවා නිම කරයි. ලොරීනා තම සංගීතයෙන් පහර දෙන්නේ මිනිසුන් මානසිකව තමා වටා තනාගත් සීමා මායිම් වලට ය.ඇය ඒවා බිඳ දමා ඔබට අමතක වී ඇති ඔබේ අධ්‍යාත්මික ලෝකය සොයා යාමට ආයාචනා කරයි. මිනිසුන් වැඩි අවධානයක් යොමු නොකළ ද ජීවිතකාලය තුළදී,භාෂාවට පෙරළිය නොහැකි බොහෝ දේ ඇත. ඒවා තමන්ගේ ආත්මයට “දැනෙන” දේ ය. ලොරීනා අපව රැගෙන යන්නේ ද භාෂාවකට පරිවර්තනය කළ නොහැකි ආධ්‍යාත්මික ලෝකයකට ය.ඇය නිකුත් කර ඇති සියළුම ඇල්බමයන් තුළ ගැබ් වී ඇත්තේ,ඉතා ඈතක සිට කිසිවකු අපව අමතනවා වැනි හැඟීමකි. ආපසු මූලය කරා පැමිණෙන්නැ’යි කරන ආයාචනයකි.මානසික නිද්‍රාවෙන් අවදිවෙන්නැ’යි ආදරණීය ඇමතීමකි.

???? අභිරහස

ලොරීනා යනු එක්තරා අභිරහසකි. ඇය ආධ්‍යාත්මික ප්‍රකාශ කිසිවක් රසිකයන්ට කරන්නේ නැත. ඒ රහස් සියල්ලම මුසු කරන්නේ ඇගේ සංගීතයටය.ඇය වචනයෙන් කිසිවක් නොකීවද ඇගේ ආත්මයෙන් නිර්මාණය වන සංගීතය මිනිසාට බොහෝ දේ ආමන්ත්‍රණය කරයි. ලොරීනාගේ ජීවිතයේ ආගමික පැතිකඩක් සහ ඇදහිල්ලක් විනිවිද නොපෙණුනද,ඇය ඉතා ගැඹුරින් ආධ්‍යාත්මිකව දැනුවත් වී ඇති බවට නොඅනුමානය.”ආධ්‍යාත්මික දැනුවත් බව යනු කුමක් දැයි” යන ප්‍රශ්නාර්ථය ද,මා පෙර පැවසූ ලෙස ම “භාෂාවට පෙරළිය නොහැකි බොහෝ දේ” අතරට එක්විය යුතුය.ඇගේ සංගීතය අසන මිනිසාට ආධ්‍යාත්මික ස්පර්ශයන්ගේ අත්දැකීම් ලැබෙනු ඇත.

ලොරීනා මැකෙනිට් ගේ සංගීතය ඇතුළතදී ඈ අපව රැගෙන යන චාරිකාවට ගමනාන්තයක් නැත. ඇයගේ ගීත වල ස්වභාවධර්මයා සැබෑ ලෙසම හුස්ම ගන්නා සෙයක් අසන්නාට දැනේ.ඇයට සවන්දීමේදී සයිප්‍රස් වෘක්ෂ මැදින්,සුළඟට සෙළවෙන බාර්ලි යායවල් අතරින්,මුහුදේ රළ බිඳීම් මතින්,උස් කඳු මුදුන්,සුළඟ සමඟ මුසු වෙමින් තිබෙන අපගේ ආත්මය ඉදිරියේ ඇය ගෙනත් තබන අපූරු කතන්දර, සැබෑ ලෙසම අප සිටින මානසික නිද්‍රාවෙන් අපව අවදි කරන සුලුය. ඇය වාදනය කරන වීනාව කෙතරම් සජීවීද යත්,භෞතික ලෝකයේ මානසික කුණාටු සමඟ ඝණව මිදී ඇති අපගේ ආධ්‍යාත්මික ලෝකය,දිය වී නැවත ගලා යාමට පටන්ගනී. ඇය අපට පෙන්වන නව ගැඹුර කුමක්දැයි විඳීමට ලොරීනා මැකෙනිට් නම් දූතියට සවන් දෙන මෙන් ඔබගෙන් ඉල්ලමි.

???? සංගීත ඇල්බම්

1997 සිට 2018 දක්වා ඇය නිකුත් කළ ඇල්බමයන් ගණන 19කි. ඒ අතරින් “The Book Of Secret” , “Lost Souls ” , “An Ancient Muse ” , “To Drive The Cold Winter” “Tge Journey So Far” , “The Journey Begins” , “The Wind That Shakes The Barley” යන ඇල්බමයන් වඩාත් ජනප්‍රිය විය.

ලෝකය පුරා රහස් ඇති බව මිනිසුන් පැවසූවද ලොව ඇති එකම රහස ඔබය. ඔබේ ආත්මයේ ඇතුළතය. ඔබේ අතීතය, ඔබේ වර්තමානය, ඔබේ අභ්‍යන්තරය යන සියල්ල ආධ්‍යාත්මිකව ඔබව ඔසවා ගන්නේ කෙසේ ද? එය ඔබේම කතාවකි. සොයාගැනීමට නො හැකිව ඔබ මෙලොව අතරමං වීමට හේතු වූ ඔබේ කතාවේ රහස, ලොරීනා මැකෙනිට්ගේ වීනාවේ හඬ අතරින් ඔබ සොයාගන්නවා නොඅනුමානය.

ඉතින් ඔබ මදක් නැවතී, නොසෙල්වී ලොරීනාව අසන්න!

-හංසි පෙරේරා –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *