සුරතල් සතුන් හැදීම කියන්නෙත් අමුතුම කලාවක්. සමහරු සුරතල් සතුන් හැදීම ෆැෂන් එකක් විදියට කරද්දි තවත් සමහරු ඒක කරන්නෙ පාළුව හුදෙකලාව මකා ගන්න වෙන්න පුළුවන්. තවත් කෙනෙක් තමන්ගෙ තත්ත්වය පවත්වාගෙන යන්න විතරක් සුරතල් සතෙක් හදනවා වෙන්නත් පුළුවන්. ඒ අතරින් තවත් සමහරු ඇත්තටම සතුන්ට ආදරය කරන නිසා මේ දේට යොමු වෙනවා. මේ හැමෝටම වඩා වෙනස් විදියට සතුන් හදන අයත් ඉන්නවා. සතුන් තමන්ගේ ජීවිතය කරගෙන අන් සියලු කාර්යයන් ඊට දෙවැනි කොට සලකමින් සතුන් වෙනුවෙන්ම කැපවෙන අයත් මේ අතරෙ ඉන්නවා.

නුවර, අලවතුගොඩ ප්‍රදේශයේ ජීවත් වුණු අනෝමා ශ්‍යාමලී සහ ප්‍රේමසිරි යුවළට දාව කුළුඳුලේ ඉපදුනෙ පුංචි හුරතල් කෙල්ලක්. මේ කෙල්ල ටිකක් ලොකු වෙද්දි තව මල්ලිලා දෙන්නෙකුත් මේ පවුලට එකතු වෙනවා. මේ දරුවො තුන් දෙනා එක්ක මේ පුංචි පවුල ජීවත් වෙන්නෙ හරිම පරාර්ථකාමී විදියට. ‍මව්පියන්ගෙ තිබුණු ආදරණීය බව, පරාර්ථකාමී චරිත ලක්ෂණ ඒ විදියටම පිහිටපු මේ පුංචි කෙල්ල යමක් කමක් තේරෙන වයසෙ ඉඳන්ම අනුන් වෙනුවෙන් උදවු කරන්න දැක්වූවෙ පුදුම කැමැත්තක්. ඒ කැමැත්ත මිනිස්සු වෙනුවෙන් විතරක් නෙවෙයි සතුන් වෙනුවෙනුත් නොඅඩුව තිබුණා. පාරෙ තොටේ අසරණ සතෙක් දැක්කත් ගෙදරට ගෙනැවිත් ඒ සතාට සාත්තු සප්පායම් කරන මේ දැරිය ටිකෙන් ටික ලොකු වෙද්දි සතුන් වෙනුවෙන් විශාල සේවාවක් කරන අපූරු චරිතයක් බවට පත් වෙනවා. අද අවුරුදු 26ක සුන්දර තරුණියක් බවට පත් වෙලා ඉන්න වත්සලා සෙව්වන්දි කියන මේ අපූරු කෙල්ල ‘pink’එක්ක සුරතල් සතුන් ගැන අත්දැකීම් බෙදා ගන්න එකතු වුණා. වත්සලා කියන්නෙ කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක්. බාහිර කිසිම දෙයක් අධ්‍යාපනයට බාධාවක් කර නොගත් වත්සලා සුරතල් සතුන් වෙනුවෙන් කැපවෙන්න කාලය ඉතිරි කර ගත්තෙ අධ්‍යාපනය වෙනුවෙනුත් කාලය කැප කරන ගමනුයි.

වත්සලා එයාගෙ කතාව ආරම්භ කරේ මෙන්න මේ විදියට

“මම මුලින්ම ඉස්කෝලේ ගියේ අඹතැන්න ප්‍රාථමික විද්‍යාලයට. ඊට පස්සේ අලවතුගොඩ ශ්‍රී සද්ධානන්ද මැදි විදුහලෙන් වගේම මහනුවර සීතා දේවී බාලිකා විදුහලින් අධ්‍යාපනය හදාරලා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. මේ වෙනකොට කැම්පස් එකේදී ක්‍රීඩා හා විශාන්ති කළමනාකරණය ගැන මගේ විශේෂවේදී උපාධිය අවසන් කරලයි තියෙන්නේ. ඉදිරි‍යේදී මාස්ටර් එක කරන්නත් හිතාගෙන ඉන්නවා.

මම මේ දවස් වල English ටියුෂන් පන්ති කරනවා. ඒ අතරෙ ග‍වේෂණාත්මක ලිපි සම්බන්ධයෙන් තොරතුරු සපයන්නත් මම හරිම කැමතියි . මගේ ජීවිතේ අංක එක වගේම විනෝදාංශය වෙන්නෙ සුරතල් සතුන් හදන එක. මුළු ජීවිතේම මේ සුරතල් සත්තු කිව්වොත් ඒක වැරදි නෑ “

වත්සලා ළඟ ඉන්නෙ සාමාන්‍යයෙන් නිවෙස්වල ඉන්න සුරතල් සතුන් විතරක් නෙවෙයි. වත්සලාට විවිධ වර්ගයේ සතුන් එකතුවක් ඉන්නවා. හැබැයි ඒ සතුන්ගෙන් දීර්ඝකාලීනව රැඳිලා ඉන්නෙ සතුන් කිහිප දෙනෙක් විතරයි. වත්සලාගේ විනෝදාංශය තමයි පාරෙ ඉන්න, අසරණ වුණු සතුන් ගෙනැවිත් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කර ඔවුන්ට ජීවත් වන්නට සුදුසු පරිසරයකට යොමු කිරීම. මේ හේතුවෙන්ම වත්සලා නිසා ජීවිතය ලැබූ සතුන් ගණන මේ වන විට දෙතුන් දහස ඉක්මවා තිබෙනවා. ඒ ගැන වත්සලාගෙ වචනවලින්ම කියනවනම්

“මගේ ළඟ කවදාවත් හොඳම වර්ගයේ මිල අධික සතෙක් ඉඳලම නෑ. මම දැනට ස්ථිරවම ළඟ තියාගෙන ඉන්නෙ මරන්න ගිහින් බේරා ගත්ත එළුවෙක්, ගිනිපිග්ලා දෙන්නෙක්, හැම්ස්ටර් කෙනෙක්, හාවො දෙන්නෙක්, බල්ලො තුන්දෙනෙක් සහ පූසො තුන් දෙනෙක් . මේ සේරම පාරෙන් හොයා ගත්ත, කොඳුකඩපු, ඇස් තුවාල කරපු අය. ඒ වගේ තුවාල වෙලා ගෙන අයට බෙහෙත් කරන්න මම වෙනම ෂෙල්ටර් එකක් තියාගෙන ඉන්නවා. මගෙ ළඟ අද ඉන්න සතා හෙට නැති වෙන්න පුළුවන්. මොකද මම සතාගෙ අසනීපෙ හොඳ උනාම ,ඒ සතාව හොඳ කෙනෙක් බලලා රී හෝම් කරනවා.

දැන් ඒ වගේ අසරණ වෙලා ඇවිත් ඉන්න සත්තු 23ක් ඉන්නවා. තේරෙන වයසෙ ඉඳන්ම සත්තු පස්සෙ හිටපු මට සතුට, නිදහස, තෘප්තිය හැමදේම වුණෙ මේ සත්තු. සිව්පාවුන්, පක්ෂීන් කියලා වෙනසක් නෑ, ඕනෑම අසරණ සතෙක් මගෙ ළඟට ලැබුණොත් මම ඒ අයට සරණක් වෙනවා.

ගිනි පිග් සහ හැම්ස්ටර්ටත් වත්සලාගේ සුරතල්ලු

“මම උසස්පෙළ කාලෙ ඉඳන් ගිනිපිග්ලා වගේම හැම්ස්ටර් ලා හදන්න පටන් ගත්තා. කොරෝනා කාලෙ ගෙදරටම හිරවුණු නිසා මම ගිනිපිග්, හැම්ස්ටර් වෙනුවෙන් ලොකු කාලයක් ගත කළා. ගොඩක් අය මේ සතුන් සුරතලයට හදන්නෙ නෑ. ගොඩක් අයගෙ සුරතල්ලු වෙන්නෙ බල්ලො, පූසො, හාවො, ගිරව් වගේ සත්තුනෙ. ඒත් මම වෙනස්. උසස් පෙළ ඉවර වුණාට පස්සෙ වැඩි වැඩියෙන් අසරණ වෙන බල්ලො, පූසො, ගස්වලින් වැටෙන ලේන්නු, දඬු ලේන්නු එහෙම ගෙදර ගෙනත් සාත්තු කරන්න පටන් ගත්තා.

කැම්පස් එකේදිත් කැම්පස් එකේ ඉන්න සතුන්ගෙ වන්ද්‍යාකරණ සැත්කම් එහෙම කරලා, තුවාල වුණාම ප්‍රතිකාර කරලා සතුන් එක්ක ඉන්න, ලෙඩ සත්තුන්ට බෙහෙත් කරන්න මම හුරු වුණා. කැම්පස් අවුට් වෙලා තීරණය කළා මම කීයටවත් එකතැනකට හිර වුණු රැකියාවකට යන්නෙ නෑ කියලා. මොකද එතකොට මට මගේ සත්තු ටික මඟහැරෙන නිසා. ඒ නිසා රැකියාව විදියට ටියුෂන් තෝරාගෙන අමතර රැකියා විදියට ඔන්ලයින් රැකියා 2ක් කරන්න මම තෝරා ගත්තා. සතියෙ දවස් 5ම කැප වෙන්නෙ සත්තු වෙනුවෙනුයි.”

තොණ්ඩුවෙන් බේරුණු සුද්දි තාමත් වත්සලා ළඟ

“සත්තු සුවපත් කරලා රී හෝම් කරපු මගේ හිත දවසක් මට හමු වුණු එළුවෙක් ළඟ නැවතුණා. මට එයාව කාටවත්ම දෙන්න හිතුණෙ නෑ. මොකද එයා මරණාසන්න මොහොතෙ තොණ්ඩුව පෙනි පෙනී ජීවිතය ලබපු කෙනෙක්. එයාව තවත් වතාවක් ඒවගේ දුකකට ඇදල දාන්න මට කිසිම හිතක් නෑ. ඒ නිසා එයා දිගමට මගේ ළඟ ඉන්නවා. ඒ තමයි සුද්දි. සුද්දිව මරන්න යනවා කියන ආරංචිය එද්දි ඇත්තටම මගේ ළඟ සල්ලි තිබුණෙ නෑ. අපි ඒ තරම් වත්පොහොසත්කම් තියෙන පවුලක් නෙවෙයි. එදා සුද්දි බේරගන්න රුපියල් 30,000ක් හොයා ගන්න මම පුදුම කට්ටක් කෑවා.

ඒ විදියට ආපු සුද්දිට දැන් පුදුම විසයක් තියෙන්නෙ. සාමාන්‍යයෙන් එළුවෙක් හදන්නෙ කිරි ගන්න මසට ගන්න වුණත් මම හදන්නෙ හුරතලයට. සුද්දි දැන් නම කියපු ගමන් දුවගෙන එන සුරතල් බල්ලෙක් වගෙයි මගෙ ළඟ හැදෙන්නෙ. සුද්දි වගේම මට ලැබුණු ගිනිපිග්ලා 200කින් විතර සථිරවම මගේ ළඟ දැනට දෙන්නෙක් ඉන්නවා. මට ඒ හැමෝවම තියා ගන්න තිබුණ නම් හොඳයි. ඒත් ඉඩකඩ ගැටලුව නිසා මම ඒ අයව රී හෝම් කරනවා. ඒකත් හොඳට හොයලා බලලයි කරන්නේ. ‍මම දෙන සතුන්ව හොඳට බලා ගන්නෙ නැතිනම් මම නැවත ඔවුන්ව අරගෙන වෙන අයට දෙනවා. හැඳුනුම්පත ඇතුළු විස්තර අරන් තමයි මම සතුන්ව දෙන්නෙ. ආසයි කියලා ඉල්ලුවට එයාගෙ පසුබිම සතාට හැදෙන්න සුදුසු පරිසරයක් නෙවෙයි නම්, ආර්ථික අපහසුතා ඇති තැනක් නම් මම කීයටවත් සතාව දෙන්නේ නෑ. “

“මාස 8ක් විතර තිස්සෙ පාරවල්වල දාල ගිය, හැප්පුණු, ගහල තුවාල කරපු සත්තු රැසක් වෙනුවෙන් මම සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නවා. විශේෂයෙන්ම මේ දවස්වල බෙහෙත් කරමින් ඉන්නවා කවුරුහරි උණුවතුර ගහලා ඇඟෙන් පහළ කොටස සම්පූර්ණයෙන්ම පිච්චුණු පූසෙක්ව. එයාට ගොඩක් අමාරුයි. තව වාහනවල හැපිල ‍කොන්ද කැඩුණු බල්ලො දෙන්නෙක් ඉන්නවා. ඒ වගේ අනතුරට ලක් වෙලා සත්තු 70,ක් 100ක් විතර ගොඩදාලා තියෙනවා . රී හෝම් කළ සත්තු ප්‍රමාණයක් 500ට වැඩියි. දඬුලේන් පැටියෙන් ඉන්නවා තවමත් මස් බෝලයක් වගේ. එයාගෙ අනිත් එක්කෙනා රිලව් කාලා. මෙයාව වැටිලා ඉඳලා හොයා ගත්තා. ඒ සත්තුන්ට පිටිකිරි දෙන්න හොඳ නෑ. සාමාන්‍ය පරිසරයට යන්න පුළුවන් වෙනකල් සුදුසු කෑම ජාති දීලා යන්න අරිනවා”

කවුද මේ හැම්ස්ටර් සහ ගිනිපිග්

“මේ දෙන්නව බැලූ බැල්මට පේන්නෙ මීයෙක් වගේ. ගොඩක් අය හිතන්නෙ මේ මීයෙක් හරි රට මීයෙක් හරි කියලා. ‍හැබැයි මේ මීයෙකුත්, හාවෙකුත්, ලේනෙකුත් නොවන ඒ වගේ සතෙක්. අපි ඔවුන් කෘන්තකයො විදියට හඳුන්වනවා. ගිනිපිග්ලා කුහර සත්තු විදියට හඳුන්වනවා. මේ ගිනිපිග් සහ හැම්ස්ටර් දෙන්නට දෙන්නා ගොඩක් වෙනස්. ගිනිපිග් ශාක භක්ෂක සතෙක්. හැබැයි හැම්ස්ටර් සර්ව භක්ෂිකයි. ගිනිපිග් සමාජශීලී වුණත් හැම්ස්ටර් කැමැති පැත්තකට වෙලා හුදෙකලාවෙ තනිවම ඉන්න. මේ දෙන්නව සමහරු එකට හැදුවට ඒක කීයටවත් කරන්න එපා . ඒ දෙන්න එකට හදන්න බැරි සත්තු දෙන්නෙක්. ගිනිපිග්ලා 200ක් විතර හදපු නිසා මම ඒ අය ගැන හොඳට දන්නවා.”

සත්තු වෙනුවෙන්ම වෙනම පඩියක්

“රට වටින් අසරණ වුණු සත්තු ගෙනත් බෙහෙත් කරන්න, බලා ගන්න, කන්න බොන්න දෙන එකත් ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඊට ප්‍රතිපාදන අවශ්‍යයි. මේ වෙනුවෙන් මම මාසයකට රුපියල් 50,000ක් විතර වැය කරනවා. සමහර බෙහෙත්, ෂැම්පු මිල අධිකයි. සමහර ෂැම්පු දෙපාර ගාද්දි ඉවරයි. . මේ දේවල් මට කර ගන්න අපහසු අවස්ථා එනවා. ඒ වගේ වෙලාවට ගොඩක් අය උපකාර දෙනවා. විශේෂයෙන්ම අපේ පන්සලේ හාමුදුරුවො, කොනකලගල ශ්‍රී විජිතමහා විහාරයේ විහාරාධිපති උදිත අනුනාහිමියන්ව සිහිපත් කළ යුතුයි, උන්වහන්සේ මට හාල්වලින් ආධාර කරනවා. ඒ වගේම දැන් මගේ ‍‍ෆේස්බුක් පේජ් එක ගොඩක් දෙනෙක් අතරට ගිහින් තියෙන නිසා මට සතෙකුගෙ සැත්කමකට, අසනීපයකට බෙහෙතක් කර ගන්න බැරි වුණොක් කරන ක්ෂණික දැනුවත් කිරීමකින් ඉන්මනින්ම උපකාර ලැබෙනවා. මාත් එක්ක ස්ථිරවම රැඳී ඉන්න පිරිස, සත්තු ගේන්න යන මග වියදම්, ආහාර වියදම්, බෙහෙත් වියදම්, සැත්කම් වියදම් එකතු කරලා දෙනවා. මම මේ අය වෙනුවෙන් කොච්චර කැප වුණත් මට කිසිම වෙහෙසක් නෑ. හරිම ආ‍සාවෙන් මේ දේ කරන්නෙ. ‍‍ෆේස්බුක් පේජ් එක නිසා දුර බැහැර පළාත්වලිනුත් සතුන් ගැන තොරතුරු ලැබෙනවා. ඒත් ඒ තැන්වලට යන්න අමාරු නිසා මම ඒ අයව සත්ත්ව සංවිධානවලට, ඒ පැතිවල ඉන්න මගේ මිතුරන්ට හරි යොමු කරනවා. මම කියන්නෙ කොයිම වෙලාවකවත් ඔයාලට සත්තු එපා නම් ඒ අයට වද දෙන්න එපා. සත්තු බලා ගන්න කැමැති ඕන තරම් අය ඉන්නවා. එහෙම කෙනෙක්ව හොයල දෙන්න කියලයි. අපේ ෆේස්බුක් පේජ් එකට මැසේජ් 400ක් 500ක් එනවා. ඒ හැම එකක්ම බලන්න බැරි වෙනකොට සමහරු මට බනිනවා. “

සතුන් වන්ද්‍යාකරණය නරක දෙයක්ද

“සමහරු බෞද්ධාගමික මත ගෙනත් මෙය පවක් කියන්න පුළුවන්. ඒත් පාරෙ ඉන්න සතුන් සීමාවක් නැතිව පැටව් දාන්න ගත්තොත් ඒ සතුන්ට පුදුම දුකක් විඳින්න වෙනවා. පැටවුන්ට පවා කන්න බොන්න නැතිව නිකන් පාරෙ මැරිලා යනවට වඩා සීමාවක් ඇතිව හැමදේම වෙන එක හොඳයි. බල්ලෙක්ගෙ ආයු කාලය අවුරුදු 14-15ක් වෙනවා. සාමාන්‍යයෙන් ගෙදරක බල්ලෙක් හැදුවොත් ඒ අවුරුදු ගාන එයා වෙනුවෙන් කැප වෙනවා. උපරිම සත්තු 4ක් හදයි. ඊට එහා හදන්න අමාරුයි. ඒ නිසා මම නම් කියන්නේ අනිවාර්යයෙන්ම වීදි සතුන් පාලනයට ලක් විය යුතුමයි. ඒ වීදි සතුන් වෙනුවෙන් පුළුල්ව යමක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම රී හෝම් කරන සතුන්ගෙන් සියයට 80ක්ම සැත්කම් කරලා, බෙහෙත් විදලයි දෙන්නෙ. ඔවුන්ගෙ ඉදිරි ප්‍රතිකාර කරන්න බැරි නම් මට කිව්වොත් ඒවාත් මමම කරලා දෙනවා. “

මේ විදියට සත්තු වෙනුවෙන් බොහෝ දේ කරන වත්සලා උපාධි ප්‍රදානෝත්සවයට යන්නෙත් සත්තු පිරිවරාගෙන. ඇය ඒ ගැන කිව්වෙ මෙහෙමයි.

“ශ්‍රී ලංකාවෙ නම් මම දැකලා තිබුණෙ නෑ උපාධි ලෝගුව දාගෙන සත්තු අරන් ඉන්නවා. හැබැයි පිටරටවල නම් ඕන තරම් ඒ වගේ ෆොටෝ ෂූට් වෙනවා. ඉතිං ඒක මගෙත් හීනයක් වුණා. මොකද මගේ ජීවිතේ මම අම්මා, අප්පච්චි, මල්ලිලා දෙන්නා හැරුණුකොට වැඩියෙන්ම ආදරේ සත්තුන්ට නිසා මගේ ජීවිතේ විශේෂ අවස්ථාවට සත්තු ගෙනියන්න මට ඕන වුණා. හැම්ස්ටර් දවල්ට නිදි නිසා මම ගිනිපිග්ලයි, බල්ලෙකුයි පූසෙකුයි තමයි ඒකට අරන් ගියෙ. මගේ ළඟ ඉන්න අය දුර නිසා ගෙනියන්න බැරි වුණා. ගිනිපිග්ලා, ගොඩක් සංවේදී නිසා දුර ‍යන්න බෑ. ඒ නිසා බී.එම්.අයි.සී.එච්. එකේ ‍ගාඩ් එකේ හිටපු පොලිස් බල්ලෙක් හා මගේ මිතුරු ඡායාරූප ශිල්පියාගේ ගිනිපිග්ලා, පූසො තමයි ගත්තෙ.”

ක්‍රීඩා හා විශාන්තිකරණය විශේෂ උපාධිධාරිණිය දැන් ඉංග්‍රීසි ටීචර් කෙනෙක්

“ගැහැනු ළමයකුට හොඳ අධ්‍යාපනයක් තිබිය යුතු නිසා මම ‍හොඳට ඉගෙන ගත්තා. ඒ දැනුමින් මම ටියුෂන් කළත් සත්තු තමයි මගේ ජීවිතය. සත්තු ගැනත් යමක් මීට වඩා ඉගෙන ගන්න පුළුවන් වුණොත් හොඳයි. මොකද මම කැමැත්තෙන් හිටියෙ පශු වෛද්‍ය කෙනෙක් වෙන්න. නමුත් ඔවුන් රැකියාවටම හිර වෙනවා මිස මට වගේ සතුන් එක්ක ඉන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා මම මේ ඉන්න තැන ගැන මට සතුටුයි. මට ඔෆිස් එකකට කොටු වුණු රැකියාවක් අවශ්‍ය වුණේම නෑ. මම ටයිකොන්ඩෝ එහෙම කරලා ක්‍රීඩාවලටත් කැමැති කෙනෙක්. මාස්ටර් එකත් කරනවා කොහොම හරි.”

වත්සලාගෙ බලු පූස් දන්සැලත් සාර්ථකයි

“මම කීයටවත් හිතුවෙ නෑ මේ බලු පූස් දන්සැල ඒ තරම් සාර්ථක වෙයි කියලා. අන්නිමේ සත්තු මදි වුණා. සුරතල් සතුන්ට හිතැති බොහෝ දෙනා ඇවිත් සත්තු අරන් ගියා. පූසො ඉල්ලන් ආපු අය ඉවර වුණු නිසා හැරිලත් ගියා. හැබැයි මම එදා මොනතරම් කාර්බහුල වුණත් මගේ සත්තුන්ව දුන්නෙ ගෙනියන කෙනාගෙ සියලු විස්තර අරන් හොඳට හොයල බලලයි. ඒ අයව හරි විදියට බලන්නෙ නැති නම් මම නැවත භාර ගන්නත් සූදානම්.”

සතුන් ගැන ‍නොදන්න අයව වත්සලා දැනුම්වත් කරන්නෙ කොහොමද?

“මම මගේ ලෙඩ වුණු, තුවාල වුණු සත්තු අරන් යන්නෙ මාතලේ ‘කෙයාර් පෙට්’ එකට. සතුන් ගැන ‍සැලකිල්ලක් නොදක්වන සමහර පශු වෛද්‍යවරුන් එක්ක බලද්දි මගේ ජීවිතයට හමු වුණු කරුණාවන්තම පශු වෛද්‍යවරු හුමු වුණේ මෙතැනදි. වසන්ත රාජපක්ෂ කියන ඩොක්ටර් මෙහෙන් මාරුවක් අරන් ගියා. ඒක මට ලොකු පාඩුවක් වුණා. සමහර තැන්වලට සත්තු ගෙනිච්චම අපිට බෙහෙත් දාගන්න කියනවා, සත්තු වෙක් කරන්නේ නෑ. ඔහු මම සත්තු ගැන අහන ඕනෑම දෙයක් ඉතා හොඳින් පැහැදිලි කරලා දෙනවා. කෙයා පෙට් එකේ දැන් ඉන්න පශු වෛද්‍යවරිය ප්‍රබෝධනී කෞෂල්‍යා මහත්මියත් සතුන්ට ඉතාම ආදරේ කරන කෙනෙක්. මම නිතරම සත්තු ගෙනියන නිසා එයා දන්නවා මේ පාරෙන් ගේන අය කියලා. ඉතිං රුපියල් 25,000වගේ වැය වන ඔපරේෂන් පවා ඇය රුපියල් 5,000ක් වගේ ගණන්වලටත් මට කරල දීලා තියෙනවා. අපි අඬ අඬ අරන් යන සතුන්ව ඇය ගොඩ දානවා. ඒ වගේම මිනිස්සු සතුන්ට පණු බෙහෙත් දෙන්න ඕන වයසවත් දන්නෙ නෑ. ඒ ගැන ඇය කළ දැනුම්වත් කිරීම් අනුව මමත් ජනතාව දැනුම්වත් කරනවා. එක එක සතා ගැන මම මේ ඩොක්ටර් එක්ක එකතු වෙලා වීඩියෝ පවා කරලා මුදා හරිනවා. වන්ද්‍යාකරණ සැත්කමක් නම් කරන්න ඕන වයස, නොකළ යුතු දේ වැරදි ‍බෙහෙත්වලට ප්‍රතික්‍රියා කරන්නෙ කොහොමද කියලා පුංචි පුංචි ආකර්ෂණීය වීඩියෝ හදල මම දානවා. ඒවට විශාල ප්‍රතිචාර ලැබෙනවා. “

‘pink’ එක්ක දිගටම සම්බන්ධ වෙලා හිටියොත් වත්සලාගෙන් සත්තු ගැන ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙයි නේද?

“ඔව්, අනිවාර්යයෙන්ම. බල්ලො පූසො හදන්න විතරක් නෙවෙයි ඔයගොල්ලන්ට හරිම ලේසියෙන් ගිනිපිග්, හැම්ස්ටර් හදන්නත් මට කියා දෙන්න පුළුවන්. නිකන්ම දුක්විඳලා මේ සත්තු මැරිලා යන්න නොදී ඒ අය හදන හැටි ‘pink’හරහා කියා දෙන්න මම සූදානම්. ෆේස්බුක්, පුවත්පත්වලට අමතරව මේ හරහා ඔබට සත්තු ගැන බොහෝ දේ දැනුම්වත් කළ හැකියි. ඉදිරියේදි එවැනි ලිපි එක්ක එක් වෙමු. “

ඉතිං සත්තු හදන්න කැමති ඔබටත් මේක හොඳ පණිවිඩයක් වෙයි. සතෙක් වුණත් දරුවෙක් වගේ නිසි කළ නිසි පෝෂණය, ප්‍රතිකාර නොදී හැදුවොත් ඒ සතාටත් කරන්නෙ වැරැද්දක්. ඒ නිසා මොන දේ කළත් දැනගෙන කරන්න නම් හැදෑරීමක් කළ යුතුමයි. ඉතිං වත්සලා එක්ක සතුන් ගැන කතා කරන්න ඉදිරියේදී ‘pink’සමඟ අත්වැල් බැඳ ගනිමු.

සඳනි නමිතා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *